ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී ඉන් මිදීම සඳහා වෙහෙසෙමින් සිටින මොහොතක, ගෝලීය දේශපාලනික සහ ආර්ථික ප්රවණතා මෙරට අනාගතය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරමින් තිබේ. විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ, මෙරට අපනයන ආදායම සුරක්ෂිත කරගනිමින් තිරසර වර්ධනයක් කරා යන ගමන පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා ඉදිරිපත් කරන විශ්ලේෂණයෙන් මෙම ලිපිය සැකසේ.

වත්මන් මැදපෙරදිග යුද ගැටුම ලෝක ආර්ථිකයට ප්‍රධාන ආකාර තුනකින් බලපායි. පළමුවැන්න වන්නේ, ගෝලීය ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යෑමයි. මෙය ලෝක ආර්ථිකය තුළ උද්ධමනකාරී තත්ත්වයක් ඇති කිරීමට සමත් වන අතර, කෙටි කාලීනව ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑමට හේතු වේ.
දෙවනුව, මෙමඟින් ඇතිවන ගෝලීය සමාජ ආර්ථික සහ දේශපාලනික අස්ථාවරත්වය, ආයෝජන සහ නිෂ්පාදන කටයුතුවලට අහිතකර ලෙස බලපාමින් මූල්‍ය වෙළෙඳපොළ බිඳ වැටීමට මඟ පෑදිය හැකිය.
තෙවනුව, ජාත්‍යන්තර වෙළෙඳ, සංචාරක සහ ගමනාගමන කටයුතු අඩපණ වීම හරහා ගෝලීය ආර්ථික වර්ධනයට සෘණාත්මක බලපෑම් එල්ල වේ. ශ්‍රී ලංකාව වැනි රටකට මෙම තත්ත්වය ඍජුවම බලපාන අතර, මෙරට අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට නම් දැනට අඩපණව ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම් වහාම සක්‍රිය කළ යුතුමය. අනාගත ලෝක වෙළෙඳාම තීරණය වන්නේ රටවල් අතර ඇති කරගන්නා වෙළෙඳ ගිවිසුම් මත බැවින්, මේ කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු විය යුතුය.
මෙරට ආර්ථිකයේ ව්‍යූහාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා මෑතකදී පාර්ලිමේන්තුවේ සම්මත වූ ‘ආර්ථික පරිවර්තන පනත’ තීරණාත්මක පියවරකි. මෙම පනතේ මූලික අරමුණ වන්නේ විදේශ ආයෝජන වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම සහ ශක්තිමත් අපනයන අංශයක් ගොඩනැඟීමයි.
මේ යටතේ දැනට පවතින ආයෝජන මණ්ඩලය (BOI), අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ කාර්මික සංවර්ධන මණ්ඩලය වැනි ආයතන කිහිපයක් ඒකාබද්ධ කර වඩාත් කාර්යක්ෂම යන්ත්‍රණයක් සකස් කිරීමට යෝජිතය. ඒ අනුව, ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ (Invest Sri Lanka) හරහා විදේශ ආයෝජන ද, ‘සෝන් ශ්‍රී ලංකා’ (Zone Sri Lanka) හරහා නිදහස් වෙළෙඳ කලාප සහ කාර්මික කලාප ද නව පාලනයක් යටතට ගෙන ඒමට සැලසුම් කර ඇත. මීට අමතරව ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා විශේෂිත වෙළෙඳ කාර්යාලයක් පිහිටුවීමට ද පනත මඟින් පෙන්වා ඇත.
අපගේ අසල්වැසි ඉන්දියාව 2000 වසරේ සිට මේ දක්වා නිදහස් වෙළෙඳ ගිවිසුම් 07ක් අත්සන් කරමින් ලෝක වෙළෙඳපොළ තුළ සිය ආධිපත්‍යය පතුරුවා තිබුණ ද, ශ්‍රී ලංකාව තුළ සක්‍රියව පවතින්නේ ඉන්දු – ලංකා වෙළෙඳ ගිවිසුම පමණකි. පාකිස්තානය, සිංගප්පූරුව සහ තායිලන්තය සමඟ ඇති කරගත් ගිවිසුම් තවමත් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම අප රටක් ලෙස පසුපසට යෑමට හේතුවකි.
පුනරාගමනය 2025 වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳ විමසුමක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දරුණු කඩාවැටීමකින් පසු යළි ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වී ඇති බව තහවුරු කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව සිය 2025 වසර සඳහා වූ වාර්ෂික ආර්ථික විවරණය ඉකුත් මස 20 වැනිදා නිකුත් කළේය.
ආර්ථික වර්ධනයේ ස්ථාවර ගමන් මඟ 2025 වසර ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. වාර්තාවට අනුව, මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතය (Real GDP) සියයට 5.0ක වර්ධනයක් වාර්තා කර ඇත. මෙය ආර්ථිකය අඛණ්ඩව දෙවන වසරටත් ප්‍රසාරණය වීමක් ලෙස හඳුනාගත හැකිය. 2024 වසරේ වාර්තා වූ සියයට 5.0ක වර්ධන වේගයම 2025 වසරේදී ද පවත්වා ගැනීමට හැකිවීම තුළින් පෙනී යන්නේ ආර්ථික ක්‍රියාකාරකම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බවයි. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ කර්මාන්ත සහ සේවා අංශයන්ය. කර්මාන්ත අංශය සියයට 7.8ක සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන ඇති අතර, සේවා අංශය සියයට 3.3ක සහ කෘෂි කර්මාන්තය සියයට 1.4ක වර්ධනයක් සනිටුහන් කර ඇත. මේ අනුව, ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 5,003 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2024 වසරේ පැවති ඩොලර් 4,546 ට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි.
2025 වසරේ අගෝස්තු මාසයේදී උද්ධමනය යළි ධන අගයක් ගන්නා තෙක් මෙරට ආර්ථිකය යම් කාලසීමාවක් අවධමන (Deflation) තත්ත්වයක පැවතිණි. ආහාර මිල ඉහළ යෑම සහ බලශක්ති මිල ගණන් පහළ යෑමේ වේගය අඩු වීම මීට ප්‍රධාන හේතු විය. සමස්තයක් ලෙස 2025 වසරේ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය සෘණ සියයට 0.5ක් (-0.5%) ලෙස වාර්තා වී ඇත. මෙම අඩු උද්ධමනකාරී පරිසරය තුළ මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්තිය ලිහිල්ව පවත්වාගෙන ගියේය. ඒ අනුව, ප්‍රතිපත්ති පොලී අනුපාතික පහළ දැමීමට පියවර ගත් අතර, 2025 වසර අවසානය වන විට ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 7.25ක් සහ ප්රතිමූල්ය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 8.25ක් දක්වා අඩු විය. මේ හේතුවෙන් පෞද්ගලික අංශයට ලබාදුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,056කින් හෙවත් සියයට 25.2කින් ඉහළ ගොස් ඇත.
විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය 2025 වසරේදී බෙහෙවින් ප්රශස්ත මට්ටමක පැවතිණි. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයෙන් සහ විදේශ ප්‍රේෂණවලින් ලැබුණු ආදායම ආර්ථිකයට විශාල ශක්තියක් විය. විදේශීය සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 2025 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 8.1ක් දක්වා ඉහළ ගොස් ඇත. එය මෙතෙක් වාර්තා වූ ඉහළම අගයකි. එමෙන්ම සංචාරක පැමිණීම් මිලියන 2.36ක් දක්වා වර්ධනය වී තිබේ. වාහන ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ ආනයන වියදම් ඉහළ ගිය ද, සේවා අපනයනවල සහය ඇතිව ජංගම ගිණුම අඛණ්ඩව තෙවන වසරටත් අතිරික්තයක් (ඩොලර් බිලියන 1.7ක්) වාර්තා කිරීමට සමත් විය.
මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය 2025 අවසානය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8 දක්වා ශක්තිමත් වී ඇත. රුපියල මධ්‍යස්ථ මට්ටමක අවප්‍රමාණය වූ අතර, 2025 වසරේ සාමාන්‍ය විනිමය අනුපාතිකය රුපියල් 309.99ක් ලෙස වාර්තා විය. රාජ්‍ය මූල්‍ය සහ ණය තිරසරභාවය රාජ්‍ය මූල්‍ය අංශයේ සිදු කරන ලද ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල දැන් ක්‍රමයෙන් නෙළා ගනිමින් පවතී. ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය හේතුවෙන් ප්‍රාථමික ගිණුමේ අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5.4ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය 2024 වසරේ පැවති සියයට 2.2 ට සාපේක්ෂව විශාල ප්රගතියකි. වඩාත්ම සතුටුදායක කරුණ වන්නේ, මධ්‍යම රජයේ නොපියවූ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 95.5 සිට සියයට 91.6 දක්වා පහළ බැසීමයි. මෙය මෙරට ණය තිරසරභාවය තහවුරු කිරීමේ ගමනේ ඉතා වැදගත් සන්ධිස්ථානයකි. මූල්‍ය අංශය සහ නවීකරණය බැංකු සහ බැංකු නොවන මූල්‍ය අංශය 2025 වසරේදී ලාභදායී මට්ටමක පැවති අතර, ඔවුන්ගේ වත්කම්වල ගුණාත්මකභාවය ඉහළ ගොස් තිබේ. ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය, සයිබර් ආරක්ෂණය වැඩිදියුණු කිරීම සහ මූල්‍ය පද්ධතිය නවීකරණය කිරීම සඳහා මහ බැංකුව විශේෂ අවධානයක් යොමු කර ඇත. මීට අමතරව, මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ ක්‍රියාමාර්ග ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
රාජ්‍ය මූල්‍ය විනය සහ ණය බර අඩු වීම රජයේ ආදායම් කළමනාකරණය ද සාධනීය මට්ටමකට පැමිණෙමින් තිබේ. රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.7%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ප්‍රාථමික ගිණුමේ අතිරික්තය 5.4% කි. වඩාත් වැදගත් වන්නේ, මධ්‍යම රජයේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 95.5% සිට 91.6% දක්වා පහළ බැස තිබීමයි. මූල්‍ය අංශයේ ස්ථාවරත්වය බැංකු ක්ෂේත්රයේ දියුණුව පෙන්වමින්, අක්‍රිය ණය අනුපාතිකය (NPL) 12.3% සිට 9.7% දක්වා පහළ ගොස් ඇත. මෙය බැංකු පද්ධතියේ ශක්තිමත්භාවය සහ ණය ආපසු ගෙවීමේ හැකියාව වර්ධනය වී ඇති බවට මනා සාක්ෂියකි. සමස්තයක් ලෙස ගත් කල, 2025 වසර යනු ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත සහ ස්ථාවර මාවතකට අවතීර්ණ වූ වසරකි. උද්ධමනය පාලනය වීම, පොලී අනුපාත පහළ යෑම සහ ඒක පුද්ගල ආදායම ඉහළ යෑම හරහා සාමාන්‍ය ජනතාවට මෙහි ප්රතිලාභ ඍජුවම අත්විඳීමට අවස්ථාව සැලසෙනු ඇත. අභියෝග සහ ඉදිරි දැක්ම ආර්ථිකය මෙලෙස ස්ථාවර වුවද, ඉදිරියේදී එල්ල විය හැකි අභියෝග පිළිබඳව ද මහ බැංකු වාර්තාව අනතුරු අඟවයි.
රාජ්‍ය ආදායම ඉහළ ගියද, පවතින ආර්ථික තත්ත්වය හමුවේ විශාල වශයෙන් බදු සහන ලබා දීමට රජයට හැකියාවක් නොමැති බව කිවයුතුය. කෙසේ වෙතත්, 18%ක වැට් (VAT) බද්ද හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් වීමට නම් රජය වක්‍ර බදු වෙනුවට ධන බද්ද වැනි සෘජු බදු කෙරෙහි අවධානය යොමු කළ යුතුය. රජයේ සහන ලබා දීමේ වැඩපිළිවෙළ සියලු දෙනාටම පොදුවේ ලබා දෙනවා වෙනුවට, දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින 12.5%ක් වන අතිශය දුප්පත් ජනතාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක විය යුතු බවට යෝජනා කරමු.
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 7%ක වර්ධනයක් පෙන්වුවද, එය වියට්නාමය (16%) වැනි රටවල් සමඟ සසඳන විට ඉතා මන්දගාමී වේ. විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට හුදු බදු සහන පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා වංචාව සහ දූෂණය පිටුදැකීම, රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම සහ ඉඩම් හා ශ්‍රම වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යවශ්‍ය බවත් පැහැදිලි කරුණකි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීමට ඇති ප්‍රධානතම රහසිගත ආයුධය වන්නේ කාන්තා ශ්‍රම දායකත්වයයි. දැනට රැකියා විරහිතව සිටින ලක්ෂ තුනක උගත් තරුණියන් ඇතුළු කාන්තාවන් ලක්ෂ පහක් පමණ කෙටි කාලයක් තුළ ශ්‍රම බළකායට එකතු කර ගැනීමේ හැකියාව පවතී. මේ සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කිරීම, ආරක්ෂිත ‘රෝස බස්’ (Pink Buses) වැනි ප්‍රවාහන සේවා හඳුන්වා දීම සහ නිවසේ සිට වැඩ කළ හැකි නම්‍යශීලී සේවා මුර ඇති කිරීම වැනි ප්‍රායෝගික විසඳුම් අයවැය හරහා ඉදිරිපත් කළ යුතුය.
ආර්ථිකයේ කොඳු නාරටිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) නඟා සිටුවීම සඳහා රජය මැදිහත් විය යුතුය. නමුත් එය හුදෙක් ණය පොලී කපා හැරීමකට පමණක් සීමා නොවිය යුතු බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සුරකිමින්, ඔවුන්ට අවශ්‍ය මූල්‍ය විනය, කළමනාකරණ පුහුණුව සහ නව වෙළෙඳපොළ අවස්ථා ලබා දීම රජයේ වගකීමකි.
ශ්‍රී ලංකාවේ මූලික ඉලක්කය විය යුත්තේ 7% – 8% ක වාර්ෂික ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමයි. කෙටි කාලීන දේශපාලන වාසි තකා සහන බෙදා දීමෙන් සිදු වන්නේ රට නැවතත් ආර්ථික අගාධයකට ඇද වැටීමයි. ඒ වෙනුවට, ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්රතිලාභ සැබෑ ලෙසම ජනතාව වෙත ගලා යන තිරසර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් පමණක් ශ්‍රී ලංකාවට සමෘද්ධිමත් අනාගතයක් කරා ගමන් කළ හැකිය.
Lanka Newsweek © 2026